
ඉරක් නොනැගි ජීවිතයේ
කළු අහසේ
හිමි සඳ වළලා
ඒ මරණේ වන්දි ගන්ට
කළුතර ලොකු ඔපීසිවල
කොච්චර නම් බඩ ගෑවද?
අතුල් පතුල් හම යනකං
ගිං ගංඟා තොටේ ඉඳං
කළුවර දිය සහ ගං දිය මුහු වන තුරු
තට්ට තනියමේ
රෙදි කඳ ඇපිල්ලුවා
ලද සොච්චං කාසි පනං
දිය කර කර ලියුං අරං
බසයෙන් බසයට දුවමින්
විටෙන් විටට කල් මරමින්
දින සුමාන මාස ගණන්
කොරිඩෝවල දුක් වින්දා
gඅම්මණ්ඩියෙ අදත් බැරිය
පස්සෙ බලමු” කිව්ව කලට
කච්චේරියෙ ගල් බංකුව උඩ ඉඳගෙන
අහක බලං - අහස බලං
හීල්ලුවා
අවුරුද්දෙදි ඒ ගත වුණ
ජීවිතයේ ගණ කළුවර
තරු වීදුරු කටු ඇන ඇන
තුවාල කර ලේ හල හල
වලා වෙලුම් පටි බැඳලා
අහසට දුන් වධ බෝමයි
අන්තිමේදි සඳේ මුහුණ
ගොඩ ඇවිදින් සිරියාවට
හිනා වෙච්ච පෝය දාට පස්සෙන් දා
හිනා කටින් කීට ඉරක් ජනිත වුණා
කච්චේරියෙ පංකා යට
වන්දි සල්ලි ගණන් හදා
ඔන්න කතා කරයි
ක්ලාක් මහත්තයා
සුදු කොළයේ කළු ඉරි උඩ
පෑන තියා තැන පෙන්නා
මෙන්න මෙතන හනි හනිකට
අත්සන ගහපනැයි කියා කියන කලට..
සාරි කබල පොරවාගෙන
නෑහුණ විදියට හිටියා
ඇඳිරි හදේ සුසුම් හමා
ඇසි පිය යට වැසි වැටුණා
කෝප වෙලා අඩි හප්පා
බැණ වදියිද මේ ඇත්තෝ
දැන් මේ අත්සන
ගහන්න බෑ කිව් විට
කොහොම ගහන්නද අත්සන
කොහෙන් ගේන්නද දෙයියෝ
ගිං ගං තොට
කිඹුලා ඩැහැ ගෙන ගිය අත!
ලක්ශාන්ත අතුකෝරල



