
පසින් නැඟ සුපුෂ්පිත කුසුම් ගත රඳන්නී
මායාවි ප්‍රකෘතිය සඳුන් තුර වන්නී
ආලෝක වර්ෂයක කිඳීගෙන
ජීවයම ගෙනියන්න හැකිවාට
පාශයේ බැඳුණු ශාපය ඇයයි
පුරුෂයින් දඬුවමේ බඳින්නී
රහස් හදවත රහස් ඉසියුම්ව රකින්නී
දණ නමමි අවනතව නුඹ නිසා කියන්නී
අහෝ මැය උකුල් ඇටයෙන් මැවුණ
ඒවා ද නුඹ සිතයි
ඉතින් නුඹ සදහටම ලුහු බඳියි
නුඹෙන් ඉපදී නුඹ ම පතන්නී විනම් ඇය
කෙලෙස දඬුවම් රැගෙන වඩින්නී
පසින් නැඟ පස නසා සදාකාලික වෙමින්
ජීවයම ගැබ පුරා දරන්නී
නාභිගත නාභියක ප්‍රේමයෙන් ගැට ගසා
අංශුවෙන් අංශුවට තනන්නී
වේදනාවේ ගිලී අංශුවට නැසෙන තුරු
ඇය ම වේ හද බැඳුම් සිඳින්නී
එසේ වුව මා තැනූ දෙවිඳුනී
මා ගෙනා ගින්දරට මම ම කපු සපයමී
ආකාස ගංගාව ගුගුරවයි
දේව නියමය නසා
සැබෑවට මිනිසෙකුට ලංවෙමී
2011 ජනවාරි
සුභද්‍රා ජයසුන්දර



