
ගැඹුරු නිහඬ බව බිඳිමින්
ගලා බසී රයින්* ගඟ දිය
අඳුරු හෙවණැළි පසු කර
නැෙඟන රළ ගෙඩි බිඳ බිඳ
පයට පෑ පොඩි වැලි කැට මඟ හැර
ගාන්ධර්ව සිහිනය අතෑරී
ආතුර වුණු මාලගිරවුන් අතර
හිස ලා ගත් වැසුම විසි කොට
රයින් නිම්නය කෙළවරම
ඔපෙරාවක කැඩුණු තනු වැයූ
ගාම්භීර තත් කෙඳි
හිඳින්නේ ඇයි - බැස යන වෙසක් සඳට ළං වී
කඳුළු කැට දෙකක් මිදෙන තුරු
ඉර හඳ තරම් සුවිසල්
දෑස් මත..
වැහි ලිහිණි පෙම්බස් අසන්නට
විලෝ තුරු පෙළ නැමී දිය මත
සැනසුම් සුසුම් හිනැහෙයි
නඟා අත් තල
නා ගසක් මවා ඇස් මත්තට
නා දළු නටයි සුළඟට
රයින් ගංතෙර මකා ඉඳහිට
ඕවිටක නිල් දම්පඳුරු යට මතකෙට..
කුරුළු පැටවුන් දඟලන තරමට
ගී ගයන්නට පුරුදු කර කර
හුස්ම පිම්ඹේ සරිගමපදනිස
කෝකිලාවන් විදා අත්තටු
තබා නළලත වඳී - පිරිනිවන් මංගල්ලෙට
අම්මාවරු හද දුකම පිරෙන කොට..
"හඳුනා ගත්තොත් ඔබ මා"**
සංසාරය පණ ගැහෙන බව නිසැකයි
ලිස්සා හැලුණු ජීවිතය අද්දරට
පිනි බිංදුවක් වැටෙන බව සත්තයි
"ගිනිගෙන රත් වුණු දවසක්
සැනසුණු එක හැන්දෑවෙක - උදුම්බරා හිනැහෙනවා"**
පා පතුල ගැටෙන පියගැටපෙළ උඩ
මිහිරි ගීයක දෝංකාරය තවරා
අලුත් ඉසව්වකින් - ඉරට ඇහැරෙන්නට කියයි
"ඔබ මා නොව"න වග එහි ලියයි
රයින් ගඟදිය ඔහෙ ගලයි
පේ‍්‍රමයක් නම් වෙතැයි කිසිවිට
සිතන්නේ නැති සිත් යට
සිරිමත් පබළු අමුණන
හුයක් ඇති බව සිතෙන විට
පුදන්නට කිරිඉද්ද අහුරක්
සොයන්නට පුළුවනිද!
රයින් නදියේ විලාපය අස අස
හුදෙකලාවට අත් ඇල්ලූ කෙනෙකු
සිටියේ ම නැති දවසක
හීන් සැරේ සමු ගෙන ගිය
රිද්මයෙන් තෙමෙයි කව
පාට සිත්තම මකා දා
අලුත් කැන්වසය දිගු කළ
යන්න ගිය එකම එක මිනිසා
රයින් ගඟ අසබඩ
හීන සිත්තමෙන් හිනැහෙයි
කුමුදු මල් පෙති මත - මහා මියැසි රුව පා වෙයි!
*රයින් ගඟ- ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටියෙන් පටන් ගෙන ඔස්ටි්රයාව, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය වැනි රටවල් කිහිපයක් පසුකර, උතුරු මුහුදට වැටෙන ගංගාවකි.
**කේමදාසයන් තනු තැනූ ගීයකින් උපුටා ගත් පද.
තුෂාරි ප්‍රියංගිකා



