
සහෝදරයගෙ තාත්තගෙ බණ ගෙදර එන්න විදියක් නැහැ. අපි විඥාණවාදීන් නොවෙන හින්දා....
-මාක්ස්වාදී යැයි කියන සහෝදරවරු පිරිසක්
මළ ගෙයක් කියන්නේ
භෞතිකවාදය සූත්රගත කරන්නට
ලොකු තැනක් මගෙ මිතුරන්ට
ඒත් මට ඒ දවස
මනුෂ්‍යත්වයට පෙම් කරන
විඥාණවාදී සුසුමකට මොහොතක්
නො නැගිටින්නට වැටුණු මිනිසෙකු
පසට එක් වන දවස
පෘථිවියට සදාදර දවසකි
දරුවන්ට හඬන්නට දවසකි
සොහොන් ගේ විසිතුරුව තැනූ උන්
පැන් වඩා, සිවුරු පිරිකර පුදා
වැගිරෙනා පැන් කියන වතුර තුළ
පුපුරණා දුක නිවා දමන විට,
විඥාණවාදී නො විය යුතු බැවින්
පාංශුකූලයට දණ ගසන්නේ නැතුව
මහේෂාඛ්‍ය වීරයෙකු වන්නට
සහෝදරවරුනි, මට නොකියන්න
අවසාන වතාවට
නළල පිරිමදින විට
මළ දෑත් සෙනේහෙන් සිඹින විට
උරහිසින් හිස පොවා
දුක දරා ගනින් යැයි කියන්නට
සහෝදරයෙකුට නම් නොහැකි ද
මතක බණ නොකියනා දේශයක
මතකයක් නැති මිනිස් රූප මැද
ප්‍රේමයේ සූත්‍රය
අවලංගු කරවන්න
වතාවත් විච්ඡේදනය කර
මගේ සහෝදරයින්
විඥාණවාදය අපෝහණය කරයි
මම, මගේ දුක සහ ප්‍රේමය
අතාර්කික තර්කය තුළ
අපෝහණය කරමි
සුභද්‍රා ජයසුන්දර



