
-යක්ෂ ගෑණියක් තමයි. ඔය වීල් එකෙන් අර ඔත්පල මිනිහවයි ළමයි දෙන්නෙක්වයි රස්සා කරනවනෙ-
අරලියා මලක සුවඳට සිත පිරුණ යාමෙක
පියඹලා අහස හැමතැන හිත නැටුව කාලෙක
කල්බලා පිපුණි සල්මල අත ගැටෙන මානෙක
ඇස් වසා විඳිමි මියගිය මල් සුවඳ හීනෙක
කෙල්ල වී මං උදේ කිරි කොක් රෑන පිරිවරා
සෙල්ලමේ අපි එදා බස්පොල නිනව් දෙනතුරා
හිනැහුනා නුඹ ඇවිත් මතකයි අදත් හිතපුරා
උන් වගේ ළමුන්ටයි මං ත්රී වීල් රියදුරා
මාවතේ දකින උදවිය දැක පුරුදු මුහුණැති
ජිවිතේ කොහොම කොහොමැයි නුඹ ගැනත් විමසති
සවුදියේ කෙරුණු සැත්කම කොහොමටත් දන්නැති
සෙයිලමේ අපට අපි මිස කවුරුවත් වෙන නැති
මං වගේ උනුයි කොහොමත් දරදඬු යකඩ හිත් ඇතී
හන්දියේ වීල් කට්ටිය දැන් මගෙ හිතට බය නැතී
පෝලිමේ හයර් නොලැබෙන අග හිඟ ගෙදර ආ නිති
හාමතේ නිදපු දවසුත් අපෙ හා පැටව් විඳ ඇති
බැංකුවේ පොළිය අඩු වැඩි නොකර පිරිමැහෙයි
හැංගුවේ ටිකයි ඒ ටික දූට දෙන ටිකයි
පෙන්නුවේ නැතුව මුත් මගෙ හිතට දැන් සැපයි
චූටිගේ මගුල් ගෙදරට හරියටම සති දෙකයි
වේලිලා ඉරිතැළුණු පොළවට වැහි කඳුළු බර නැතී
බිම්මලත් මලක් වුනු හිතකට මල් පොකුරු හිඟ නැතී
නෑඬුවත් කෑ ගසා ඉකිබිඳ අද ළඟින් නුඹ නැතී
පාඩුවේ අඬමි ඉඳ හිට විඳ රෑ සිහින සුවඳැතී
පසු සටහන:
මේ කවියට පාදක වූයේ රාජගිරියේ ත්රීවීලයක් පදවන සුනේත්රා හේමමාලි පිළිබඳව අන්තර්ජාල පුවත්පත්වල පලවූ තොරතුරුය.
රවිඳු වර්ණකුල
කවි බූන්දි | වීල් කිරිල්ලියෙ වීල් කිරිල්ලියෙ වීල් කුරුල්ලා කොයි...? - [රවිඳු වර්ණකුල]
Posted by
BoondiOnLine
9.11.2012



